Friday, June 19, 2015

කොස් ගහේ කතාව..

මාස දෙක තුනක් ගිනි රස්නෙට ඉර පායා දැන් වැස්ස පටන් ගෙන ඇත.අව්ව කාලෙට ඉරට බැනපු අපි දැන් වැස්සට හිත යටින් බනින්නෙමු.අපට පමණක් නොව අසල්වැසි ඉන්දියාවට ද මේ ඉරණම තදින් බලපායි.අධික උණුසුම දරා ගන්නට බැරිවුණු ඔවුන්ට දැන් මොර සූරන වැසි වැටෙයි.
අපේ දිහාටත් වරින්වර වැසි ඇද වැටෙයි.පෙරදා රාත්‍රියේ මහ වැස්සකි.ඒ හා සමානවම බියකරු සුළඟක් ද හමන්නට විය.අතරින් පතර විදුලි එළි පාත් වෙයි..
වේලාව රාත්‍රි දහයට පමණ ඇත.
එක්වරම...
" දඩාං"
යන්තම් සිහින ලෝකයේ නිදි දෙව්දුව සමඟ සිටි මට දැනුණේ ඇඳෙන් බිමට වැටුනා වැනි හැඟීමකි.මදුරු සුරතලුන්ගෙන් බේරීමට හිසේ සිට පාදාන්තය දක්වා පෙරවූ ඇතිරිල්ල ඇඟේ ඔතාගෙනම අම්මා සෙව්වෙමි..
" අම්මේ....මොකද්ද ඒ සද්දෙ...පොඩ්ඩක් බලන්නකො.."
" ආ....ඒ ටකරමක් කඩන් වැටුණු සද්දයක්.ගිහින් නිදාගන්න.හුළඟට වෙන්න ඇති."
අම්මා දුන් පිළිතුර අකමැත්තෙන් බාර ගත් මම නැවත නින්දට පිවිසුණෙමි.සද්දය ඇහුණේ කන ළඟින්ම ය.
වැස්ස අඩුවිය.ඒත් ගේ පිටිපස්සෙන් වතුර ගලායන හඬක් ඇසෙයි.
ඒ අතර අම්මා...
" මේ....ටැප් එකේ වතුර එනවා අඩුයි.ගිහින් වැඩි කරන්න.."
අඩ නින්දෙන් ගොස් උපරිමයට වැඩි කළෙමි.
" ඒත් වතුර අඩුයි ."
පාරේ වතුර බටෙන් එන වතුර ,ටැංකිය ට යයි.දැන් ටැංකිය පිරෙන්න ඇති.ඒත් මෙච්චර ඉක්මණට වතුර අඩුවෙන්නෙ කොහොමද ..
" මොකක් හරි අවුලක්...එළියෙ තාමත් වතුර සද්දයක් ඇහෙනවා.."
" එහෙනම් බලනවා පොඩ්ඩක් "
අඩේ....කොස් අත්තක් කඩන් වැටිලා අපේ වහලෙට..ටැප් එහෙකුත් කැඩිලා.
" අම්මේ..........."
" අපොයි දෙයියනේ අනුන්ගෙ වතුවල කොස් ගස්..කී දවසක් කිව්ව ද ඕකෙ අතු කපන්න කියලා"
ඒ අතර අත්තම්මා කරළියට ආවාය.
" කතා කරනවා ගහේ අයිතිකාරයොන්ට.සතයක් වියදම් කරන්න එපා.ඉඩම් අයිනෙ ගස් හිටෝලා..."
ආත්තම්මා දුම්මල වරම අතට ගෙන නටයි.
කලබලය ඇසී කොස් ගහේ අයිතිකාර නැන්දා තාප්පය අසලට ආවාය.
 " හනේ....කඩන් වැටිලා නේ ..."
" මේකනේ....අක්කේ...වැස්සට ගහේ අතු දිරලා.ඒකනෙ කඩන් වැටිලා තියෙන්නෙ."
අත්තම්මාගේ මූණට අබ ටිකක් දැම්මා නම් දැන් චිටි චිටි ගාලා පුපුරයි.
" පුහ්..වැස්සට දිරලා...අනුන්ගෙ ගෙවල් වලට අතු වැවෙනකොට ඒවා කපන්න බෑ..වැස්සට දිරලා...හුහ් ... එහෙනම් වහින වෙලාවට කොස් ගහට කුඩයක් අල්ලන් ඉන්න තිබුණනේහ්.."
අපොයි අපේ අත්තම්මාගේ කට...එහා ගෙදර නැන්දා මූණ නරක් කරගෙනය.
" අම්මා දැන් ගේ ඇතුළට යන්න.අපි බලාගන්නම්.."
ඒ අපේ අම්මා ය.
 " හොඳට තියෙයි..."
අත්තම්මාගේ කට වහනවා..
 .බොරු ය.
මීට මාස ගණනකට පෙර ගෙදරට වාස්තුවිද්‍යාව මඟින් නිවසේ දෝෂ බැලීමට කෙනෙක් පැමිණියේය .
" මේ බුදු පිළිමෙ හොඳ නැගෙනහිරට.ඇඳන් සේරෝම තියෙන පැති වැරදියි.ධන හානි,හදිසි විපත්,අසනීප...."
ඔහුට කියාගෙන ආ දෙය ඉවර කරන්න ඉඩක් නොලැබුණි.
" මේ...මහත්තයෝ...බැලුවම නිදාගන්න ඇඳ කොයි අතට තිබ්බත් අපලයිනෙ..අපි එහෙනම් නිදා ගන්නෙ නැතුව ඇහැරන් ඉන්නම්.එතකොට දෝස ඉවරයිනෙ.."
අපරාදෙ සල්ලි.වාස්තු ශිල්පියාව බින්දුවට දැම්මාය.අපේ අත්තම්මාගේ හැටි එහෙමය.තවත් රස කතා හුඟක් ඇත.ඒවා පසුව ලියමි.
පහුවදා එළිය වැටී දෙපැයක් ගත වීමට මත්තෙන් මන්නා,පොරොව හා කියත් රැගත් පිරිසක් පැමිණ කොස් අතු එකින් එක කපයි.
අත්තම්මා එදෙස බලා සිටියි.වහලයත් ඔවුන් විසින් පිළිසකර කිරීමට පොරොන්දු වී ඇත.
 " හ්ම්.මගෙ කට නැත්තම් ඔක්කොම ඉවරයි.කර බා ගෙන වහලෙටත් අපේ සල්ලි වියදං කරයි.."
අත්තම්මාගේ කට ට තවමත් නිවාඩුවක් නැත..
************************************

No comments:

Post a Comment